වල් පැළෑටි
වල් පැළෑටි ශ්රී ලංකාව ඇතුළු බොහෝ රටවල භෝග නිෂ්පාදනයේ ලා විශාල බාධකයක්ව පවතී. වල් පැළෑටි නිසා ඇතිවන අස්වනු අඩුවීම බොහෝවිට 30%-50% පමණ වන අතර මෙය වෙනත් කෘමින් මඟින් ඇතිවන හානියට වඩා වැඩිය. වල් පැලෑටි බහුල වූ විට අස්වැන්න සම්පූර්ණයෙන්ම වුවද නැතිවිමට ඉඩ ඇත.ඕනෑම වගා ක්රමයක වඩාත් ප්රතිඵලදායී වල්පැළ පාලන ක්රමය වන්නේ,
ශෂ්‍ය ක්රම හා රසායනික ක්රම ඒකාබද්ධව කරනු ලබන වල් පැළ පාලන ක්රමයයි. වල් පැළ පාලනයේ අරමුණ වන්නේ පහසුවෙන් කල හැකි ශෂ්‍ය ක්රම (බිම් සැකසී ම, ජලය, පෝර, බීජ පාලනය, පැල අතර පරතරය, ජෛව ක්රම ඒකාබද්ධව කර වල් නාශකද යොදා ගනිමින් වල් පැළ වලින් ඇති වන තරඟය අඩුකර බෝගයට උපරිම දිරියක් ලබා දීමයි. එහි තවත් අරමුණක් වනුයේ වල් පැළෑටි වර්ග වඩා පහසුවෙන් සහ අඩු වියදමින් පාලනය කල හැකි වර්ගයක් බවට පත් කිරීමයි. බෝග අස්වැන්න වැඩි දියුණු කිරීමට ප්රවේසම් සහිත වල් පැල පාලන ක්රමයක් අවශ්‍ය වේ.
වල් පැළෑටි නිසා බෝග වලට ඇති වන හානි
1. වල් පැළ පාලනය නොකිරීමෙන් වගාවේ අස්වැන්න සම්පූර්ණයෙන්ම නැති වී යා හැක. අසම්පූර්ණ ලෙස වල් පැල පාලනය කිරීම නිසා අස්වැන්නෙන් 50% ක් හෝ ඊටත් වැඩි ප්රමාණයක හානියක් ඇති වේ. වල් පැළෑටි, බෝග සමඟ තෙතමනය, ආලෝකය, පෝෂක සහ අවකාශය සඳහා තරඟ කරයි. මෙම සාධක බෝග මඟින් සම්පූර්ණයෙන්ම ප්රයෝජනයට ගන්නේ නම් වල් පැළෑටි වර්ධනයක් සිදු නොවේ.
2. බෝග පැල මතු වී සති 6-8 දක්වා කාලයක් වල් පැළෑටි රහිතව තැබීමෙන් අස්වැන්න අඩුවීම විශාල ප්රමාණයකින් මඟහරවා ගත හැක. මෙම කාල සීමාව බෝගය අනුව වෙනස් වේ. ළූණු බෝගයට වල් පැළෑටි සමඟ තරඟ කිරීමට ඇති හැකියාව අඩුය. එහෙත් කව්පි වැනි බෝග වැඩි තරඟ කාරිත්වයක් දක්වයි. ඒ නසා වල් පැළෑටි රහිතව ක්ෂේත්රයේ තිබිය යුතු කාලය අඩුය.
3. බෝග වල වර්ධනයට හාන් කරන රසායනික ද්‍රව්‍ය වල් පැළැටි වලින් ස්රාවය වීමට පුළුවන.
4. වල් පැළෑටි, දිලීර, බැක්ටීරියා සහ කෘමින්ට ආරක්ෂාව සපයන අතරම ඒවායේ පැවැත්මට උදව්දෙන ධාරක බෝග ලෙසද කටයුතු කරයි.
උදාහරණ ලෙස සන්හෙම්ප් (Crotolaris)
හුලංතලා (Ageratum
conyzoides) වැනි වල් පැළෑටි වෛරස් වල පැවැත්මට උපකාරී වේ. කොන්වොපවුසියේ කුලයේ කංකුන් වැනි භෝග බතල ගුල්ලාෙග් පැවැත්මට උපකාරී වේ. මෙම කෘමින් හා රෝග වල් පැළැටි ඇති ස්ථාන පමණක් නොව ඒ අවට බෝග වලටද හානි කරයි.
1. වල් පැළැටි, ශෂ්‍ය ක්රම භාවිතයට බාධා ගෙන දෙන අතර බිම් සැකසීමට හා අස්වනු නෙලීමට වැයවන වියදම වැඩි කරයි.
2. වල් පැළෑටි බීජ හෝ වල් පැළ අඩංගු වීමෙන් අස්වැන්නෙහි ගුණාත්මය මෙන්ම ආර්ථීක වටිනාකමද අඩු වේ.
වල් පැළෑටි වර්ගීකරණය
වල් පැළෑටි,
ඒවායේ ජීවිත කාල සීමාව, රූප විද්යාත්මක ව්යුහය සහ වර්ධන විලාශය අනුව වර්ග කළ හැක.
1. ජීවිත කාල සීමාව අනුව - මේ යටතේ වාර්ෂික, ද්වි වාර්ෂික හා බහු වාර්ෂික යනුවෙන් වර්ග කෙරේ.
(අ) වාර්ෂික වල් පැලෑටි - මල් නිපදවා, බීජ ඇති කර, මාස 12 කට හෝ ඊට අඩු කාලයකදී ජීවන චක්රය සම්පූර්ණ කර මැරී යයි.
(ආ) ද්වි වාර්ෂික වල් පැළෑටි - වාර්ෂික වල් පැළෑටි වලට සමානය. එහෙත් ජීවිත චක්රය සම්පූර්ණ කිරීමට අවුරුදු 2 ක් ගත වේ.
(ඇ) බහු වාර්ෂික වල් පැළෑටි - බීජ මඟින් හෝ මුල්, රෛසෝම, අල වැනි වර්ධක කොටස් මඟින් වැවේ. අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වේ.
2. රූප විද්යාත්මක ව්යුහය අනුව - මේ යටතේ වල් පැලෑටි, තෘණ, පන් වර්ග,
මීවන සහ පළල් පත්‍ර යනුවෙන් වර්ග කෙරේ.
(අ) තෘණ සහ පන් වර්ග වල සමාන්තර නාරටි සහිත සිහින් දිගටි පත්‍ර ඇත. කෙසේ වුවද පහත සදහන් ලක්ෂණ වලින් පන් වර්ග, තෘණ වර්ග වලින් වෙන් කර හඳුනාගත හැක.
§
ත්රිකෝණාකාර, ඝන කඳක් තිබීම
§
පත්‍ර කොපුව කඳ වටා නලයක් ආකාරයට සංයුක්තව තිබීම
§
පත්‍ර කඳ වටා තුන් පැත්තකින් සම්බන්ධ වී තිබීම(තෘණ වල පත්‍ර දෙක බැගින් කඳෙහි එකිනෙකට විරුද්ධ පැතිවල පිහිටා ඇත)
(ආ) පළල් පත්‍ර වල් පැළෑටි - තෘණ හා පන් වර්ග හා සංසන්දනය කරන විට,
දැලක් වැනි නාරටි වින්යාසය සහ පළල් පත්‍ර තලය නිසා පහසුවෙන් හඳුනාගත හැක.
(ඇ) මීවන,
පත්රිකා යට පැත්තේ ඇති බීජාණු මඟින් ප්රචාරණය වේ. පත්‍ර, පැළෑටියේ මුලෙන් කෙලින්ම ඇති වේ.
වල් පැලෑටි හට ගැනීම සහ වර්ධනය වීම වැළැක්වීම ඒවා හටගත් පසුපාලනය කිරිමට වඩා පහසුවන අතර ආර්ථික වශයෙන්ද වැඩි ලාභයක් ගෙන දෙයි. වගාවකට වල් පැළෑටි බීජ ඇතුල් වීම, සිටවීමට ගන්නා ද්‍රව්‍ය, කාබනික් පොහොර, වාරි ජලය,
ගොවිපල් උපකරණ, වසුන් ද්‍රව්‍ය, මිනිසා සහ සතුන් මඟින් සිදු වේ. පාරවල් දෙපස, පුරන් බිම් වල, වාරි ඇල මාර්ග වල වැවෙන වල් පැළෑටි වල බීජ ඇතිවීමට ඉඩ හැරීමෙන් ඒවා වසරින් වසර උපද්රව ඇති කරන ස්ථාන බවට පත් වේ. වගා බිම් වලින් වල් පැළෑටි ගහනය ක්රමයෙන් අඩුකර අවසානයේදී තුරන් කර දැමීම සඳහා නිසි අවස්ථාවන්හිදී වගා කටයුතු හා සම්බන්ධවූ අඛණ්ඩව ක්රියාත්මක වන ඒකාබද්ධ වැඩසටහනක් අවශ්යය.
වල් පැළෑටි ක්ෂේත්රයට ඇතුල්වීම හා එහි තහවුරු වීම වැළැක්වීම සඳහා පහත පූර්වෝපායන් යෙදිය යුතුය.
හැකි සෑම විටම, වල් පැළෑටි වලින් තොර පිරිසිදු බීජ සිටවන්න.
දිය පාරවල්,
කානු, වාරි මාර්ග ඇලවල් දෙපස වැවෙන වල් පැළැටි වල බීජ හට ගැනීමට ඉඩ නොදෙන්න.
වගා කන්නයන් අතරතුර කාලවලදී හෝ වගා නොකරන ලද බිම් වල වැවෙන වල් පැලෑටි වල බීජ හට ගැනීමට ඉඩ නොදෙන්න.
එක් ක්ෂේත්රයක සිට වෙනත් ක්ෂේත්රයකට ගොවි උපකරණ ගෙනයාමට පෙර ඒවා පිරිසුදු කරන්න.
පිරිසිදු වගා බිම් වල, ගෙවල් වල ඇති කරන සතුතන්ට ගැවසීමට ඉඩ නොදෙන්න.
වගා ඉඩම් වලට ඇතුළුවීමට පෙර තම ඇඳුම් වල් පැළෑටි බීජ වලින් තොර බවට සහතික වන්න.
පොහොරක් ලෙස භාවිතා කිරීමට පෙර කාබනික ද්‍රව්‍ය හොඳින් දිරාපත් කර ගන්න.
වල් පැළෑටි පාලනයේ මූලධර්ම
මුදුන් කොටස් වර්ධනය වීම වැලැක්වීමෙන් සෑම වල් පැළෑටියක්ම විනාශ කළහැක. සූර්ය ශක්තිය ප්රයෝජනයට ගෙන පත්‍ර වල ආහාර නිපදවීම මඟින් වල් පැළෑටි තම පැවැත්ම ආරක්ෂා කර ගනී. මේ නිසා පොළොවෙන් ඉහළ කොටස් වල වර්ධනය සම්පූර්ණයෙන්ම නතර කළ හොත් වල් පැළෑටි අවසානයේදී නිරාහාරව විනාශ වී යයි. එසේ වුවද පස තුල රෛසොමයක් ඇති හීන් ඇටෝරා (Cynodon
dactylon) කලාදුරු (Cynodon rotundus) වැනි බහු වාර්ෂික වල් පැළෑටි වල වායව කොටස් වරින් වර විනාශ කලද ඒවා දිගු කලක් නොමැරී ජීවත් වේ.
වල් පැළෑටි වල බිජ හට ගැනීම වැලැක්විය යුතුය. ඇතැම් වල් පැළෑටි වල සිය දහස් ගණන් බීජ හට ගන්නා අතර ඒවා පසු කාලයකදී වගා කරන බෝග සඳහාද බලපෑම් ඇති කරයි. මල් පිපෙන අවස්ථාවේ විනාශ කලද ඇතැම් වල් පැළෑටි වලට බීජ හටගැන්වීමේ හැකියාව ඇති නිසා කැකුළු විකසිත වීමට පෙර වල් පැල විනාශ කල යුතුය.
වල් පැළෑටි වල ගෙඩි වෙන්වී යාමෙන්ද, ශෂ්‍ය ක්රම භාවිතයේදී කැඩී යන මුල්,
රෛසෝම සහ අල කැබලි මඟින් වල් පැළෑටි පැතිරීමටද පුළුවන.
පාලනය සඳහා එකම ක්රමය දිගටම යොදා ගැනීමෙන් එම පාලන ක්රමයට ඔරොත්තු දෙන වල් පැළැටි විශේෂයන්හි ගහනය ක්රමයෙන් වැඩි විය හැක.
No comments:
Post a Comment